Select your language

This website will display in the language you choose.

වෛද්‍ය භාෂණ පරිවර්තකයන් සමග කටයුතු කිරීම: සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා මාර්ගෝපදේශය

ප්‍රවර්ගය චිකිත්සකයෙක්/ HCP සම්පත් Published 22 January 2026


ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා ඵලදායී සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. සීමිත ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් ඇති රෝගීන් හෝ ශ්‍රවණාබාධ ඇති රෝගීන් සඳහා, වෘත්තීය භාෂණ පරිවර්තකයන් සායනික වෛද්‍යවරුන් සහ රෝගීන් අතර නිවැරදි, ගෞරවනීය සහ ආරක්ෂිත සන්නිවේදනයක් සහතික කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

NAATI මගින් සහතික ලත් භාෂණ පරිවර්තකයන් සමඟ කටයුතු කළ යුත්තේ ඇයි?

NAATI මගින් සහතික ලත් භාෂණ පරිවර්තකයන් ආචාරධර්ම සංග්‍රහයකට බැඳී සිටින අතර, රහස්‍යභාවය, අපක්ෂපාතීභාවය සහ නිවැරදිභාවය ඇතුළු ආචාරධර්මීය ප්‍රමිතීන් අනුගමනය කිරීමට පුහුණුව ලබා ඇත. පවුලේ සාමාජිකයන් හෝ ද්විභාෂික කාර්ය මණ්ඩලයට වඩා වෙනස්ව, ඔවුන්ගේ භූමිකාව වන්නේ හැඟීම්වලට සම්බන්ධ නොවී සංකීර්ණ වෛද්‍ය පාරිභාෂික වචන සහ සංවේදී සාකච්ඡා නිවැරදිව හැසිරවීමයි.

NAATI සහතික ලත් භාෂණ පරිවර්තකයන් සමග කටයුතු කිරීම මගින්:

  • රෝගී ආරක්ෂාව සහ දැනුවත් අනුමැතිය වැඩිදියුණු කරයි
  • සායනික සහ නීතිමය අවදානම් අඩු කරයි
  • සායනික දෝෂ සහ වැරදි අවබෝධයන් අඩු කරයි
  • රෝගීන්ගේ තෘප්තිය සහ සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කරයි
  • සෞඛ්‍ය සේවා සහ වෙනස් ලෙස සැලකීම් විරෝධී නීති යටතේ ඇති නීතිමය සහ ආචාරධර්මීය වගකීම් සඳහා සහාය වේ.

භාෂණ පරිවර්තකයෙකු යොදාගත යුත්තේ කුමන අවස්ථාවලදී ද

භාෂණ පරිවර්තකයෙකු යොදාගත යුතු අවස්ථා:

  • රෝගියෙකු විසින් භාෂණ පරිවර්තකයෙකු ඉල්ලා සිටින විට
  • රෝගියාගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව සීමිත වූ විට
  • රෝගියා ශ්‍රවණාබාධ ඇති අයෙකු හෝ ශ්‍රවණය සීමිත අයෙකු වූ විට
  • සංකීර්ණ, සංවේදී හෝ නීතිමය තොරතුරු සාකච්ඡා කරන විට, ඒ අතරතුර අනුමැතිය ලබා ගැනීම ඇතුළුව

රෝගියෙකු සාමාන්‍යයෙන් ඉංග්‍රීසි තේරුම් ගත්තද ආතතිය ඇති අවස්ථා හෝ නුපුරුදු තත්ත්වයන් ඔවුන්ගේ සන්නිවේදන හැකියාවට බලපෑම් කළ හැකිය විශේෂයෙන්ම මානසික සෞඛ්‍යය, අනුමැතිය හෝ රෝග නිර්ණය ඇතුළත් වන අවස්ථාවලදී, දරුවන්, පවුලේ සාමාජිකයන් හෝ පුහුණුව නොලැබූ කාර්ය මණ්ඩලය මත විශ්වාසය තැබීමෙන් වැළකී සිටින්න.

මතක තබා ගන්න: භාෂණ පරිවර්තකයෙකු සිටින්නේ ඉංග්‍රීසි භාෂා දැනුම සීමිත පුද්ගලයා සඳහා පමණක් නොව, සංවාදයට සහභාගී වන සියලු දෙනා වෙනුවෙනි. රෝගියා සමග ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය කළ නොහැකි බවට ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔබ භාෂණ පරිවර්තකයෙකුගේ සහාය ලබා ගත යුතුය.

භාෂණ පරිවර්තකයෙකු වෙන්කරවා ගැනීම

බොහෝ රෝහල් සහ සායනවල භාෂණ පරිවර්තක සේවා වෙන්කරවා ගැනීම සඳහා ස්ථාපිත ක්‍රියාපටිපාටි ඇත. ඔබගේ ආයතනයේ ක්‍රියාවලි සමාලෝචනය කර, සුදුසු භාෂා සේවා සැපයීමට හැකි වන පරිදි හැකි ඉක්මනින් අවශ්‍ය කටයුතු සූදානම් කරන්න.

සුදුසු භාෂණ පරිවර්තන ක්‍රමය තෝරා ගන්නේ කෙසේද යන්න ඇතුළුව, භාෂණ පරිවර්තකයන් සමග කාර්යක්ෂමව කටයුතු කරන ආකාරය පිළිබඳව NAATI ආයතනයේ මාර්ගෝපදේශය කියවන්න.

අවශ්‍ය වන තොරතුරු

භාෂණ පරිවර්තකයෙකු වෙන්කරවා ගැනීමට, ඔබට අවශ්‍ය වන්නේ:

  • රෝගියාගේ නම (විශේෂයෙන් සංවේදී මාතෘකා ආශ්‍රිත කුඩා ප්‍රජාවන්හි පෞද්ගලිකත්වය ගැන සලකා බලන්න)
  • අවශ්‍ය භාෂාව
  • වෙන්කරවා ගැනීමේ දිනය, වේලාව සහ කාලසීමාව
  • හමුවීම් වර්ගය සහ සාකච්ඡාවේ ස්වභාවය
  • ලිපිනය (ස්ථානීය සේවා සඳහා)
  • කාර්ය මණ්ඩල සාමාජිකයාගේ නම සහ සම්බන්ධතා තොරතුරු

වෙනත් කරුණු සලකා බැලීම්

  • භාෂණ පරිවර්තකයෙකු සහිත හමුවීම් සඳහා, භාෂණ පරිවර්තකයෙකු නොමැති හමුවීම්වලට වඩා වැඩි කාලයක් ගත විය හැකිය. එය වෙන්කරවා ගැනීමේ කාලසටහන් සකස් කිරීමේදී සලකා බලන්න.
  • භාෂණ පරිවර්තකයාගේ ලිංගභේදය සම්බන්ධයෙන් වන කැමැත්ත ගැන රෝගීන්ගෙන් විමසන්න.
  • සමහර රෝගීන් දිගටම පැවැත්වෙන හමුවීම් සඳහා එකම භාෂණ පරිවර්තකයෙකු භාවිතා කිරීමට කැමති විය හැකිය.

සැසියට පෙර

භාෂණ පරිවර්තකයන්ට රැඳී සිටීම සඳහා වන ක්‍රියාවලි

භාෂණ පරිවර්තකයන් සඳහා රෝගියාගෙන් වෙන්වූ නියමිත රැදී සිටීමේ ස්ථානයක් හැකි නම් ලබා දෙන්න. මෙය වෘත්තීය සීමා රැක ගැනීමට උපකාරී වන අතර, සාකච්ඡාවට පෙර කාර්ය මණ්ඩලයට භාෂණ පරිවර්තකයාට අවශ්‍ය තොරතුරු ලබා දීමට අවස්ථාවක් සලසයි.

භාෂණ පරිවර්තකයාට කලින් විස්තර ලබාදීම

භාෂණ පරිවර්තකයාට ඔබව හඳුන්වා දී, හමුවීමට පෙර අවශ්‍ය විස්තර ලබා දෙන්න. විශේෂයෙන් සංවේදී මාතෘකා ඇතුළත් නම්, අදාල පසුබිම් තොරතුරු සහ සාකච්ඡා කරන මාතෘකා හුවමාරු කර ගන්න. සවිස්තරාත්මක පෙර විස්තර ලබාදීම මගින් භාෂණ පරිවර්තකයාට සාර්ථක සාකච්ඡාවකට සූදානම් වීමට උපකාරී වේ. භාෂණ පරිවර්තකයන් සමග කටයුතු කරන ආකාරය පිළිබඳ NAATI මාර්ගෝපදේශය මෙතැනින් බලන්න.

ආසන සැලසුම්

ස්ථානීය හමුවීම් සඳහා: රෝගියා, භාෂණ පරිවර්තකයා සහ සායනික වෛද්‍යවරයා වෙනුවෙන් ත්‍රිකෝණාකාර ලෙස ආසන සැලසුම් කරන්න. මෙමගින් පැහැදිලි සන්නිවේදනයට ඉඩ සලසමින් සියලු දෙනාම සාකච්ඡාවට ඇතුළත් වන බව සහතික කරයි.

ඔස්ලැන් භාෂණ පරිවර්තන සඳහා: භාෂණ පරිවර්තකයා සෞඛ්‍ය සේවා වෘත්තිකයා අසලින් සිටිය යුතු අතර රෝගියාට විරුද්ධ පසින් සිටිය යුතුය. මෙය ශ්‍රවණාබාධ ඇති රෝගියාට කතා කරන පුද්ගලයා සමග ඇස් සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙයි. දිගු සැසි සඳහා භාෂණ පරිවර්තකයන් දෙදෙනෙකුට මාරුවෙන් කටයුතු කළ හැකිය.

දුරස්ථ භාෂණ පරිවර්තනය සඳහා: අවශ්‍ය උපකරණ ඔබ සතුව ඇති බවත්, ඒවා ක්‍රියාත්මක කරන ආකාරය ඔබට පැහැදිලි බවත් සහතික කරගන්න. දුරකථන භාෂණ පරිවර්තනය සඳහා ස්ථාවර දුරකථනයක් සහ ස්පීකර් දුරකථන පහසුකම වඩාත් සුදුසු වේ.

සැසිය අතරතුර

හමුවීම ආරම්භ කිරීම

ඔබ සහ භාෂණ පරිවර්තකයා රෝගියා හට හඳුන්වා දී හමුවීම ආරම්භ කරන්න. භාෂණ පරිවර්තකයාගේ භූමිකාව පැහැදිලි කරන්න; ඔවුන් සන්නිවේදනය පහසු කරවන අතර කියන දේ නිවැරදිවම පරිවර්තනය කරන බවත්, කිසිදු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් නොකරන බවත් දන්වන්න. සැසියේ අරමුණ පැහැදිලි කර, ඕනෑම වේලාවක ප්‍රශ්න ඇසීමට රෝගියා දිරිමත් කරන්න.

හමුවීම අවසන් කිරීම

ප්‍රධාන කරුණු සාරාංශ කර අවබෝධ වූ බව තහවුරු කර ගන්න. රෝගියා තොරතුරු නිවැරදිව අවබෝධ කරගෙන ඇතිදැයි පරීක්ෂා කර අවසන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන්න. වෘත්තීය සීමා රැක ගැනීම සඳහා භාෂණ පරිවර්තකයා රෝගියාගෙන් වෙනම පිටවීමට සලස්වන්න.

සැසියෙන් පසු

විශේෂයෙන් සංකීර්ණ සාකච්ඡා වලින් පසු භාෂණ පරිවර්තකයන් සමග විමර්ශන සඳහා අවස්ථාවක් ලබා දෙන්න. මෙය ඇතිවූ ගැටලු සාකච්ඡා කිරීමට සහ ඵලදායී සහයෝගීතාවයට උපකාරී වේ. මෙය භාෂණ පරිවර්තකයාගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා දීමට හෝ ගැටලු විසඳීමට සුදුසු අවස්ථාවකි.

අතිරේක සම්පත්

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න:

මෙම පිටුව ප්‍රයෝජනවත් වූවාද?(Required)

මෙම පිටුව වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රතිචාර අපට උපකාරී වේ. අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට NAATI මෙම ප්‍රතිචාර භාවිතා කරයි.

ඔබට පිළිතුරක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ “අප හා සම්බන්ධ වන්න” පෝරමය භාවිතා කරන්න.