Select your language

This website will display in the language you choose.

ද්විභාෂික පුද්ගලයෙකු සහ භාෂණ පරිවර්තකයෙකු අතර ඇති වෙනස කුමක්ද?

ප්‍රවර්ගය පාරිභෝගික සම්පත් Published 15 January 2026

සියලුම භාෂණ පරිවර්තකයන් ද්විභාෂික පුද්ගලයන් වන නමුත්, සියලුම ද්විභාෂික පුද්ගලයන් භාෂණ පරිවර්තකයන් නොවේ.

  • භාෂණ පරිවර්තකයෙකු යනු ද්විභාෂික පුහුණු වෘත්තිකයෙකි. ඔවුන්ට සංස්කෘතික දැනුමද ඇති අතර, ආචාර ධර්ම සංග්‍රහයකින් බැඳී සිටී. ඔස්ට්‍රේලියාවේ භාෂණ පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා ප්‍රජා ප්‍රමිතිය වන්නේ NAATI මගින් සහතික කර තිබීමයි.
  • ද්විභාෂික පුද්ගලයෙකුට භාෂා දෙකක් කතා කළ හැකි නමුත්, ඔවුන් භාෂණ පරිවර්තකයෙකු ලෙස පුහුණුව ලබා නොමැති අතර ආචාරධර්ම සංග්‍රහයකට බැඳී නොමැත.

භාෂණ පරිවර්තකයන් වෙනස් වන්නේ කෙසේද?

පුහුණුව සහ සහතික කිරීම

භාෂණ පරිවර්තකයන්ට වෘත්තීයමය ලෙස කටයුතු කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍ය වේ. NAATI විසින් ඔවුන්ගේ කුසලතා සහ අත්දැකීම් පරීක්ෂා කර සහතික ලබාදීමට පෙර ඇගයීමක් සිදු කරයි. එමගින් ඔවුන්ගේ හැකියාවන් තහවුරු කර ඇති බවට ඔබට විශ්වාසයක් ලබාගත හැකිය.

භාෂා සහ පරිවර්තන කුසලතා

NAATI විසින් භාෂණ පරිවර්තකයන්ගේ නිවැරදිභාවය සහ වෘත්තීයභාවය සහතික කිරීමට විවිධ කුසලතා ඇගයීමක් සිදු කරයි. මෙයට භාෂා හැකියාව, මතක ශක්තිය, පැහැදිලි කිරීමක් ඉල්ලීමට ඇති විශ්වාසය, එකවර කතා සිදු වීම කළමනාකරණය කිරීම, සහ කථකයන්ගේ ස්වරය සහ ශෛලියට ගැළපීමේ හැකියාව ඇතුළත් වේ. භාෂණ පරිවර්තකයන් හට පවසන දේවල්වල සංස්කෘතික අර්ථයන් හඳුනාගෙන ඒවා අනෙක් භාෂාවට නිවැරදිව ප්‍රකාශ කිරීමේ දක්ෂතාවය ඇත.

වෘත්තීය හැසිරීම

භාෂණ පරිවර්තකයෝ ආචාරධර්ම සංග්‍රහයක් අනුගමනය කරති. එයට මූලික මාර්ගෝපදේශ නවයක් ඇතුළත් වේ. උදාහරණයක් ලෙස, ඔවුන් නිවැරදිව, පක්ෂපාතී නොවී සහ රහස්‍යතාවය රැකගෙන කටයුතු කළ යුතුය. අවසරයකින් තොරව (නීතියෙන් අවශ්‍ය නොවන විට හැර) ඔවුන් තොරතුරු බෙදා නොගනී. වෘත්තීය කාර්යයේදී ඇතිවන සදාචාරාත්මක ගැටලු කළමනාකරණය කිරීමටද ඔවුන් දක්ෂ වේ.

විශේෂිත දැනුම

බොහෝ භාෂණ පරිවර්තකයන් නීති හෝ සෞඛ්‍ය වැනි විශේෂ ක්ෂේත්‍රවල විශේෂීකරණය වේ. මෙය ඔවුන්ගේ පාරිභාෂික වචන සහ අවස්ථා පිළිබඳ දැනුම වර්ධනය වීමෙන් නිවැරදි පරිවර්තනය කිරීමට උපකාරී වේ. NAATI විසින් සමහර භාෂාවන් සඳහා සෞඛ්‍ය හෝ නීති ක්ෂේත්‍රවල විශේෂීකරණය වූ භාෂණ පරිවර්තකයන් සඳහා සහතික ලත් විශේෂිත භාෂණ පරිවර්තක සහතිකද ලබාදෙයි.

භාෂණ පරිවර්තකයන් ලෙස කටයුතු කරන ද්විභාෂික පුද්ගලයන්

කුසලතා හිඟය

ද්විභාෂික පුද්ගලයෙකුට භාෂා දෙකක් චතුර ලෙස කතා කළ හැකි වුවද, භාෂා අතර අර්ථය නිවැරදිව හුවමාරු කිරීමේ විශේෂ කුසලතා නොතිබීමට ඉඩ ඇත. පැහැදිලි කිරීමක් ඉල්ලීමේ විශ්වාසය, සංකීර්ණ තොරතුරු සඳහා අවශ්‍ය සටහන් ගැනීමේ හැකියාව, සහ නිල හෝ සංකීර්ණ අවස්ථා සඳහා අවශ්‍ය වචන සම්පත් ඔවුන්ට නොතිබිය හැකිය.

සන්නිවේදනය වැරදි ලෙස සිදු කිරීමේ අවදානම

පුහුණුව නොලැබූ ද්විභාෂික පුද්ගලයන් නීතිමය, වෛද්‍ය හෝ වෙනත් සංවේදී අවස්ථාවල භාෂණ පරිවර්තකයන් ලෙස භාවිතා කිරීමෙන් බරපතල වැරදි සිදුවිය හැකිය. මෙවැනි වැරදි නිසා වැරදි රෝග විනිශ්චය, නීතිමය අයිතිවාසිකම් පිළිබඳ වැරදි අවබෝධ, අනුමැතිය සම්බන්ධ ගැටලු හෝ රහස්‍යතාව උල්ලංඝනය වීම වැනි ගැටලු ඇතිවිය හැකිය.

පරීක්ෂා කර නොමැත

ඔවුන්ගේ භාෂා සහ භාෂණ පරිවර්තන කුසලතා ස්වාධීනව ඇගයීමට ලක් කර නොමැත.

පවුලේ සාමාජිකයන් භාෂණ පරිවර්තකයන් ලෙස භාවිතය

පවුලේ සාමාජිකයන් භාෂණ පරිවර්තකයන් ලෙස භාවිතා කිරීම අමතර ගැටලු ඇති කරයි:

  • ඔවුන් පාරිභාෂික වචන නොදැනීම හෝ හැඟීම්, සංස්කෘතික හෝ පෞද්ගලික හේතු නිසා තොරතුරු එකතු කිරීම හෝ ඉවත් කිරීම හේතුවෙන් බරපතල වැරදි සිදුවිය හැකිය
  • ඔවුන් විසින් තමන්ගේම අර්ථකථනය අනුව සිදුවීම් විස්තර කිරීමට ඉඩ තිබේ.
  • රහස්‍යතාවය හේතුවෙන් සියලු අදාළ තොරතුරු බෙදා නොගැනීම සිදු විය හැකිය
  • මෙගින් පවුල් සාමාජිකයාට ආතතිය සහ මානසික පීඩනයක් ඇති කළ හැකිය

වයස අවුරුදු 18ට අඩු කිසිවෙකු භාෂණ පරිවර්තකයෙකු ලෙස භාවිතා නොකළ යුතුය. වෘත්තීය භාෂණ පරිවර්තකයෙකු භාවිතා කිරීමෙන් පවුලේ අයට චිත්තවේගීය සහය ලබාදීමට සහ ප්‍රශ්න ඇසීමට අවධානය යොමු කිරීමට හැකිය.

ද්විභාෂික පුද්ගලයන් විශිෂ්ටත්වය දක්වන අවස්ථා

අවදානම අඩු සහ නිවැරදිභාවය අත්‍යවශ්‍ය නොවන සන්නිවේදන අවස්ථාවලදී ද්විභාෂා පුද්ගලයන් වැදගත් භූමිකාවක් ඉටු කරයි. ද්විභාෂික සේවකයන් පිළිගැනීමේ නිලධාරීන්, හෙදියන්, පරිපාලන නිලධාරීන්, අලෙවිකරණ වෘත්තිකයන්, සංචාරක මාර්ගෝපදේශකයන් වැනි තනතුරු වල සේවය කරයි. භාෂා දෙකක් කතා කිරීමේ හැකියාව මගින් ප්‍රජා සන්නිවේදනය වැඩිදියුණු වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී, රෝගියාගේ සංස්කෘතික පසුබිමටම අයත්වන ද්විභාෂික සෞඛ්‍ය සේවකයන් සංස්කෘතික වශයෙන් සුදුසු සේවාවක් ලබාදීමට වැදගත් භූමිකාවක් ඉටු කරයි. කෙසේ වෙතත්, පහත අවස්ථාවලදී සෑම විටම භාෂණ පරිවර්තකයෙකු භාවිතා කළ යුතුය:

  • අනුමැතිය ලබා ගැනීම ඇතුළත් වන විට
  • රෝග විනිශ්චය, ප්‍රතිකාර සැලසුම් සහ අනෙකුත් ඉහළ අවදානම් හෝ චිත්තවේගීය අවස්ථා සාකච්ඡා කරන විට

ඇසිය හැකි ප්‍රශ්න

භාෂණ පරිවර්තකයෙකු සහ ද්විභාෂික පුද්ගලයෙකු අතර තෝරාගැනීමේදී සලකා බැලිය යුතු කරුණු:

  • මෙහි සදාචාරාත්මක බලපෑම් තිබේද?
  • වැරදි අවබෝධ සිදු වීමෙන් බරපතල අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකිද?
  • මෙම සංවාදය හෝ තොරතුරු නීතිමය වශයෙන් බැඳී පවතින්නේද?
  • ඔබට අනුමැතිය ලබාදීම හෝ ලබාගැනීම අවශ්‍යද?
මෙම පිටුව ප්‍රයෝජනවත් වූවාද?(Required)

මෙම පිටුව වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ ප්‍රතිචාර අපට උපකාරී වේ. අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට NAATI මෙම ප්‍රතිචාර භාවිතා කරයි.

ඔබට පිළිතුරක් අවශ්‍ය නම්, කරුණාකර අපගේ “අප හා සම්බන්ධ වන්න” පෝරමය භාවිතා කරන්න.