ගුණාත්මකභාවය සහතික කිරීම: පරිවර්තන සමාලෝචනය හා සත්‍යාපනය කරන ආකාරය
ඔබ කතා නොකරන භාෂාවක පරිවර්තන සමාලෝචනය කිරීමේ වගකීම ඔබ දරන විට, එය කළ නොහැකි දෙයක් ලෙස දැනිය හැකිය එහෙත් වාසනාවකට මෙන්, ඔබගේ පරිවර්තන නිවැරදි, වෘත්තීය හා අරමුණට සුදුසු වන බව සහතික කිරීමට ප්‍රායෝගික ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ පියවර ඔබට භාවිතා කළ හැකිය.
භාෂාව නොදැන ඔබට කළ හැකි මූලික ගුණාත්මක පරීක්ෂා
ඔබ ඉලක්ක භාෂාවේ ප්‍රවීණයෙකු නොවූවද, ඔබට දෘශ්‍ය හා ව්‍යුහමය සමාලෝචනයක් කළ හැකිය:
පාඨයේ දිග සැසඳීම
පරිවර්තනය කරන ලද පාඨයේ දිග මුල් පාඨයේ දිගට ආසන්න වශයෙන් සමානද? සමහර භාෂාවල ස්වභාවයෙන්ම වචන වැඩි හෝ අඩු විය හැකි නමුත්, විශාල වෙනසක් තිබේ නම් අන්තර්ගතය අඩු වී හෝ එකතු වී ඇති බවක් පෙනිය හැකිය.
ආකෘතිය පරීක්ෂා කිරීම
පරිච්ඡේද, ලැයිස්තු සහ ශීර්ෂ ගණන මුල් පිටපතට ගැළපේද? පරිවර්තනය කරන ලද පාඨය නිවැරදි ස්ථානවල පෙන්වෙන්නේද?
අංක සහ සංකේත සත්‍යාපනය
අංක මුල් පිටපත සමඟ ගැළපේද යන්න තහවුරු කරන්න. එමෙන්ම සංකේත සහ විරාම ලකුණුද පරීක්ෂා කරන්න. භාෂාව අනුව ඒවා භාවිතය වෙනස් විය හැකි බව මතක තබා ගන්න.
ටයිප් කිරීමේ දෝෂ හඳුනාගැනීම
ප්‍රශ්නාර්ථ ලකුණු හෝ වැරදි තැන්වල ඇති සංකේත වැනි අසාමාන්‍ය අක්ෂර තිබේදැයි පරීක්ෂා කරන්න. මේවා තාක්ෂණික හෝ ටයිප් කිරීමේ දෝෂ විය හැක.
අනතුරු ඇඟවීමේ සංඥා හඳුනාගැනීම
ගුණාත්මක භාවය සම්බන්ධ ගැටලු බොහෝ විට දුර්වල ක්‍රියා පටිපාටි හෝ වෘත්තීයභාවය නොමැතිකම නිසා ඇතිවේ. පහත සඳහන් දේවල් අවදානම් ලක්ෂණ වේ:
සුදුසුකම් නොමැති පරිවර්තකයන්
NAATI වෙබ් අඩවිය හරහා සැමවිටම NAATI සහතික සත්‍යාපනය කරන්න. සහතිකයක් හෝ වෘත්තීය අත්දැකීම් නොමැති වීම අවදානමක් වේ.
දුර්වල සන්නිවේදනය
පරිවර්තකයන් ප්‍රතිචාරශීලී විය යුතු අතර ප්‍රතිපෝෂණ විවෘතව භාරගත යුතුය. ආරක්ෂාකාරී හැසිරීම හෝ සංශෝධන කිරීම ප්‍රතික්ෂේප කිරීම අනතුරු ඇඟවීමේ සංඥාවකි.
සැකසහිත ඉක්මන් සැපයුම් කාල
ඉතා විශාල කාර්යයක් (උදා: වචන 160,000ක්) පැය 24ක් තුළ අවසන් කිරීම යථාර්ථවාදී නොවන අතර එවැන්නක් දුර්වල ගුණාත්මක භාවයකින් යුත් හෝ සංස්කරණය නොකළ යාන්ත්‍රික පරිවර්තනයක් වීමට බොහෝ ඉඩකඩක් ඇත.
අසාමාන්‍ය මිල ගණන්
ඔබට ලැබුණු අනෙකුත් මිල සඳහන් කිරීම් සමග සසඳන විට පැහැදිලි හේතුවක් නොමැතිව ඉතා අඩු හෝ ඉතා ඉහළ ගාස්තු මගින් වංචනික හෝ අඩු ගුණාත්මක සේවාවක් පෙන්විය හැකිය. ඉහළ ගාස්තු අයකිරීම් NAATI හි ඉහළ සහතික මට්ටමක්, පුළුල් අත්දැකීම් හෝ උසස් සුදුසුකම් මගින් සාධාරණීකරණය කිරීමට හැකිය.
ආපසු ලබා දීම පිළිබඳ ගැටලු
පරිවර්තනය එකඟ වූ ආකෘතියෙන් සහ නියමිත වේලාවට ලබා දුන්නාද? එසේ නොවේ නම්, ප්‍රමාදයන් ගැන පැහැදිලිව දැනුම් දුන්නාද?
අසාමාන්‍ය පාඨ
ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට ඉලක්කගත භාෂාව කියවිය හැකි නම්, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ සහ ස්වභාවික වාක්‍ය ගලායාම පරීක්ෂා කරන්න. අසීරු වාක්‍ය රටාව මගින් දුර්වල පරිවර්තනයක් පෙන්විය හැකිය.
දෙවන මතයක් ලබාගත යුතු අවස්ථා
යමක් වැරදි බව දැනෙන්නේ නම්, පරිවර්තනය සමාලෝචනය කිරීමට දෙවන පරිවර්තකයෙකු යොදා ගන්න.
පහත අවස්ථාවන් සඳහා ඔබ සෑම විටම දෙවන සමාලෝචනයක් ලබාගත යුතුය:
- නීතිමය ලියකියවිලි
- ප්‍රසිද්ධ සන්නිවේදනයන්
- සෞඛ්‍ය තොරතුරු
- ආරක්ෂණ අත්පොත්
- නිවැරදිභාවය අවශ්‍ය ඕනෑම අන්තර්ගතයක්
- කෘත්‍රිම බුද්ධිය හෝ යාන්ත්‍රික පරිවර්තන මෙවලම් භාවිතා කර නිර්මාණය කළ හෝ සහාය ලබා ගත් පරිවර්තන.
මතක තබා ගත යුතු වැදගත්ම කරුණ
ඔබට මතුපිට මට්ටමේ ගැටලු හඳුනාගත හැකි වුවද, පරිවර්තනය නිවැරදි, ස්වභාවික සහ ඔබගේ අරමුණට සුදුසු වන බව සහතික කළ හැක්කේ සහතික ලත් පරිවර්තකයෙකුට පමණි. සැකයක් ඇති සැමවිටම දෙවන පරිවර්තකයෙකුගෙන් සත්‍යාපනය කිරීමක් ලබා ගන්න.