භාෂණ පරිවර්තකයෙකු සමග කටයුතු කරන ආකාරය
මෙම පිටුවෙහි
භාෂණ පරිවර්තකයන් සමග කටයුතු කිරීමෙන් ඔබට .තමාට වඩා වෙනස් භාෂාවක් කතා කරන පුද්ගලයන් සමඟ ඵලදායීව සන්නිවේදනය කිරීමට ඔබට උපකාරී වේ. භාෂණ පරිවර්තකයන් සංවාදයේ සහභාගීකරුවන් නොවන අතර, ඔව්හු සන්නිවේදනය සඳහා පාලමක් ලෙස කටයුතු කරති.
NAATI මගින් සහතික කළ භාෂණ පරිවර්තකයෙකු:
- කාර්යය පිළිබඳ ඔවුන්ට ලැබෙන උපදෙස් අනුව මාතෘකාව සම්බන්ධයෙන් පර්යේෂණ කර, කාර්යයට සූදානම් වනු ඇත
- සියලුම තොරතුරු නිවැරදිව සහ පක්ෂපාතිත්වයකින් තොරව භාෂණ පරිවර්තනය කරනු ඇත
- කිසිදු තොරතුරක් එකතු කිරීම, ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සිදු නොකරන අතර කිසිදු මතයන්, උපදෙස හෝ පැහැදිලි කිරීමක් ලබා නොදෙනු ඇත
- අවශ්‍ය නම් නිවැරදි බව සහතික කර ගැනීම සඳහා පැහැදිලි කිරීමක් හෝ නැවත දැක්වීමට ඉල්ලා සිටිනු ඇත
- පුද්ගලයන් එකවර කතා කරන අවස්ථාවන් කළමනාකරණය කරනු ඇත
- සැසි කාලය තුළ සාකච්ඡා කළ සියලුම තොරතුරු ඇතුළුව පැවරුම සම්බන්ධ සියල්ල රහසිගතව තබා ගනු ඇත
සම්බන්ධ වන සැමට වෘත්තීය අත්දැකීමක් සහතික කිරීම සඳහා ඔවුන්ට ගෞරවයෙන් සලකා සහමෙම මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇත.
සැසියට පෙර
නිවැරදි භාෂණ පරිවර්තන ක්‍රමය සහ ස්ථානය තෝරා ගන්න
භාෂණ පරිවර්තකයෙකු වෙන්කර ගැනීමේදී, භාවිතා කරන ක්‍රමය සහ භාෂණ පරිවර්තකයාගේ සහභාගිත්වය ගැන ඔබ අපේක්ෂා කරන ආකාරය තහවුරු කර ගන්න. එමෙන්ම අවශ්‍ය උපකරණ නිවැරදිව සකස් කර ඇති බවට වග බලා ගන්න. ඔබට නිශ්චිත නොමැති නම්, ඔබේ භාෂා සේවා සැපයුම්කරුට හෝ භාෂණ පරිවර්තකයාට ඔබට වඩාත්ම සුදුසු ක්‍රමය පිළිබඳව උපදෙස් ලබා දිය හැකිය.
භාෂණ පරිවර්තන ක්‍රමය
අනුක්‍රමික භාෂණ පරිවර්තනය : භාෂණ පරිවර්තකයා කථිකයා පවසන දේ අවසන් වන තුරු බලා සිට, පසුව එය පරිවර්තනය කරයි. මෙම ක්‍රමය සාමාන්‍යයෙන් හමුවීම් හෝ කුඩා රැස්වීම් වලදී භාවිතා වේ. මෙම ක්‍රමය භාවිතා කරන විට, සංවාදය එක භාෂාවකින් සිදු වනවාට වඩා සෑම විටම ආසන්න වශයෙන් දෙගුණ කාලයක් ගත වන බැවින්, කාලසටහනේ අමතර කාලයක් වෙන් කරගත යුතුය.
සමගාමි භාෂණ පරිවර්තනය: භාෂණ පරිවර්තකයා කථනය සිදුවන අවස්ථාවේදීම එය තත්කාලීනව පරිවර්තනය කරයි. සාමාන්‍යයෙන් මෙය හිසට පැළඳිය හැකි විශේෂ උපකරණ (හෙඩ්සෙට්) හෝ භාෂණ පරිවර්තන කුටි භාවිතා කරමින් සිදු කරයි. මෙම ක්‍රමය විශාල රැස්වීම්, සම්මන්ත්‍රණ හෝ කණ්ඩායම් සාකච්ඡා සඳහා වඩාත් සුදුසු වේ. ඒ මන්ද යත්, එය සන්නිවේදනයේ ගලායෑම අඛණ්ඩව පවත්වා ගැනීමට උපකාරී වීමය. මෙය මානසිකව වෙහෙසකර කාර්යයක් බැවින්, නිරවද්‍යතාවය පවත්වා ගැනීමට සහ වෙහෙස වළක්වා ගැනීමට අවම වශයෙන් භාෂණ පරිවර්තකයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින ලෙස නිර්දේශ කරයි.
භාෂණ පරිවර්තන සේවා සැපයීම
මුහුණට මුහුණ (ස්ථානීය හෝ පුද්ගලිකව) භාෂණ පරිවර්තනය: මුහුණට මුහුණ භාෂණ පරිවර්තනය සංකීර්ණ අවස්ථා සඳහා වඩාත් සුදුසුය, මන්ද එය ශරීර ඉරියව් මගින් ගැගීම් පළ කිරීම වැනි වාචික නොවන ඉඟි හඳුනා ගැනීමට සහාය වේ. මෙහිදී භාෂණ පරිවර්තකයා ඔබ සමඟ එකම කාමරයේ සිටිනු ඇත. ග්‍රාමීය හෝ ප්‍රාදේශීය ප්‍රදේශවල සහ සමහර භාෂා සඳහා මෙවැනි සේවා ලබාගැනීම සීමිත විය හැකිය.
වීඩියෝ: වීඩියෝ භාෂණ පරිවර්තනය, මුහුණට මුහුණ සිදුවන භාෂණ පරිවර්තනයට පසු දෙවන හොඳම විකල්පය ලෙස සැලකේ, මන්ද එහි දී සහභාගීවන්නන්ගේ වාචික නොවන සංඥා තව දුරටත් දැකගත හැකි බැවිනි. ස්ථානීය භාෂණ පරිවර්තකයන් ලබාගත නොහැකි අවස්ථාවලදී, විශේෂයෙන් කෙටි දැනුම්දීම් හෝ මුලාශ්‍ර කිරීමට අපහසු භාෂා සඳහා වීඩියෝ භාෂණ පරිවර්තනය ප්‍රයෝජනවත් වේ. වීඩියෝ භාෂණ පරිවර්තනය ඔස්ලැන් සහ කතා කරන භාෂා දෙකටම සුදුසු වන නමුත් ඒ සඳහා විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතාවක් සහ නිසි උපකරණ අවශ්‍ය කරයි.
දුරකථන: දුරකථන භාෂණ පරිවර්තනය වඩාත්ම පහසුවෙන් ලබාගත හැකි භාෂණ පරිවර්තන ආකාරයයි. එය සංකීර්ණ නොවන, කෙටි සන්නිවේදන සඳහා වඩාත් ප්‍රයෝජනවත් වේ.
නිවැරදි භාෂණ පරිවර්තකයා තෝරා ගැනීම
- භාෂණ පරිවර්තකයා NAATI සහතික ලත් බව තහවුරු කරගන්න. ඔබට ඔවුන්ගේ Certified Practitioner Number (CPN) භාවිතා කරමින් NAATI සහතිකය පරීක්ෂා කළ හැකිය.
- පහසු ලෙස පෙනුණත් පවුලේ අය හෝ මිතුරන් භාෂණ පරිවර්තකයන් ලෙස භාවිතා නොකරන්න. ඔවුන්ට අපක්ෂපාතීත්වය, පුහුණුව හෝ භාෂා කුසලතා නොතිබිය හැකිය. මෙමගින් රහස්‍යතාව, නිවැරදිතාව සහ වෘත්තීයභාවය අවදානමට ලක් විය හැකිය.
- භාෂණ පරිවර්තකයා පැවරුමේ අවශ්‍යතා සපුරාලන බව තහවුරු කර ගන්න. ඔබට නිශ්චිත ලිංගභේදයක භාෂණ පරිවර්තකයෙකු අවශ්‍යද? ඔවුන්ට සෞඛ්‍ය හෝ නීතිය වැනි විශේෂිත ක්ෂේත්‍රයක දැනුමක් තිබිය යුතුද?
භාෂණ පරිවර්තකයාට කෙටි විස්තරයක් ලබාදෙන්න
හැකි සෑම අවස්ථාවකදීම, භාෂණ පරිවර්තන කාර්යයට පෙර භාෂණ පරිවර්තකයාට කෙටි විස්තරයක් ලබාදෙන්න. කෙටි විස්තයක් මගින් හමුවීමේ අරමුණ, එයට සහභාගී වන පුද්ගලයන් සහ භාෂණ පරිවර්තකයා දැනගත යුතු ප්‍රධාන තොරතුරු බෙදාහදා ගනියි. භාෂණ පරිවර්තකයා සමඟ කෙටි පෙර සංවාදයක් පවා කිරීම මගින් බාධා අඩු වීමටත් සන්නිවේදනය වඩා සුමට වීමටත් උපකාරී වේ.
කෙටි විස්තරයට ඇතුළත් විය හැක්කේ:
- මාතෘකාව, ඉලක්කයන්, සහ සහභාගී වන පුද්ගලයන් පිළිබඳ පසුබිම් තොරතුරු ලබාදීම.
- භාෂණ පරිවර්තකයාට නිවැරදිව පරිවර්තනය කිරීමට සුදානම් හැකි වන පරිදි තාක්ෂණික භාෂාව, විශේෂිත පාරිභාෂික වචන හෝ විශේෂ වෘත්තීමය වචන පිළිබඳව දැනුවත් කිරීම.
- හමුව හැඟීම්බර, තාක්ෂණික හෝ සංවේදී විය හැකිද යන්න භාෂණ පරිවර්තකයාට දැනුම් දීම.
පැවරුම සංකීර්ණ නම්, භාෂණ පරිවර්තකයාට සූදානම් වීමට සහ අවශ්‍ය නම් පර්යේෂණ කිරීමට පෙර දැනුම්දීමක් ලබා දෙන්න. මෙම සූදානම මගින් නිවැරදි භාෂණ පරිවර්තනය සහ සැසිය අතරතුර භාෂණ පරිවර්තකයාගේ වැඩ ප්‍රමාණය අඩු කිරීම සහතික කිරීමට උපකාරී වේ.
සැපයුම් සංවිධානය සැලසුම් කරන්න
මුහුණුට මුහුණ සිදුවන පරිවර්තනය සඳහා ඔබ, භාෂණ පරිවර්තකයා සහ සේවාලාභියා එකම ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය වේ. රෝගියා, භාෂණ පරිවර්තකයා සහ සායනික වෛද්‍යවරයා සඳහා ත්‍රිකෝණයක ආකාරයෙන් අසුන් වෙන් කරන්න. මෙය පැහැදිලි සන්නිවේදනයක් ප්‍රවර්ධනය කරන අතර සියලු දෙනාම අන්තර්ගත වන බව සහතික කරයි.
ඔස්ලැන් භාෂණ පරිවර්තනය සඳහා: භාෂණ පරිවර්තකයා සෞඛ්‍ය සේවා වෘත්තිකයා අසලින් වාඩිවී හෝ හිටගෙන සිටිය යුතු අතර රෝගියාට විරුද්ධ පැත්තේ සිටිය යුතුය. මෙය බිහිරි රෝගියාට කථාකරන පුද්ගලයා සමග ඇස් සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහ ශරීර ඉරියව් මගින් ගැගීම් පළ කිරීම නිරීක්ෂණය කිරීමට හැකියාව ලබාදේ. දිගු සැසි සඳහා භාෂණ පරිවර්තකයන් දෙදෙනෙකුට මාරුවෙන් මාරුවට කටයුතු කළ හැකිය.
දුරකථන සහ වීඩියෝ සම්මන්ත්‍රණ: මෙවැනි ක්‍රමයන් නම්‍යශීලී බව ලබාදෙයි — භාෂණ පරිවර්තකයා හෝ සේවාලාභියා ඔබ සමඟ එකම ස්ථානයේ සිටිය හැකිය, නැතහොත් එක් එක් පුද්ගලයා වෙන වෙනම ස්ථානවල සිටිය හැකිය. සැසිය ආරම්භ කිරීමට පෙර තාක්ෂණය නිසි ලෙස ක්‍රියා කරන බව සහතික කර ගන්න.
භාෂණ පරිවර්තනය සඳහා අමතර කාලයක් ලබා දීමට මතක තබා ගන්න. එක් භාෂාවකින් පමණක් සිදුවන සංවාදවලට වඩා, භාෂණ පරිවර්තනය සහිතව සිදුවන සංවාදවලට සාමාන්‍යයෙන් වැඩි කාලයක් ගතවනු ඇත.
සැසිය අතරතුර
කළ යුතු දේ
- භාෂණ පරිවර්තකයා සහ ඔහුගේ/ඇයගේ කාර්යභාරය හඳුන්වාදීම සහතික කරන්න . ඔබට සරල ප්‍රකාශයකින් ආරම්භ කළ හැකිය: “මේ අපගේ භාෂණ පරිවර්තකයා, අද අපට සන්නිවේදනය කිරීමට උදව් කරනවා.” “අප කියන සියල්ල නිවැරදිව සහ රහස්‍යභාවයෙන් යුතුව පරිවර්තනය කරනු ලැබේ.” භාෂණ පරිවර්තකයාට තමන්ව හඳුන්වා දිය හැකිය. සාකච්ඡාවේ ස්වභාවික ගලායාම පවත්වා ගැනීම සඳහා භාෂණ පරිවර්තකයා පළමු පුද්ගල (i.e. “මම”, “අපි”) ලෙස කතා කරන බව සහභාගීවන්නන්ට මතක් කර දෙන්න.
- භාෂණ පරිවර්තකයාට නොව අනෙක් පුද්ගලයා සමග සෘජුව කතා කරන්න. “ඔබ අද කොහොමද දැනෙන්නේ?” යැයි පවසන්න, “ඇයට කොහොමද දැනෙන්නේ කියා ඇයගෙන් අහන්න” යැයි නොකියන්න. සංස්කෘතික වශයෙන් නුසුදුසු නම් මිස, අනෙක් පුද්ගලයා සමඟ ඇස් සම්බන්ධතාවය පවත්වා ගන්න.
- පැහැදිලි සහ සරල භාෂාවක් භාවිතා කරන්න. කට වහර, විෂයගත භාෂාව, කෙටි යෙදුම් හෝ සංකීර්ණ සැසඳීම භාවිතා කිරීමෙන් වළකින්න. භාෂණ පරිවර්තනය සඳහා කාලය ලබාදීමට නිරන්තරයෙන් විරාම ලබා ගන්න.
- භාෂණ පරිවර්තකයා අවසන් කරන තෙක් සිටින්න. මෙමගින් නිවැරදිතාව සහතික කරන අතර තොරතුරු අධික වීම වළක්වයි.
- ඉවසිලිවන්ත වන්න. එකම අර්ථය ප්‍රකාශ කිරීමට සමහර භාෂාවලට වැඩි හෝ අඩු වචන අවශ්‍ය විය හැකිය. භාෂණ පරිවර්තනය අතර ඇති වන සමහර නිහඬතාවයන් සාමාන්‍ය වේ.
- අවශ්‍ය පරිදි පැහැදිලි කරන්න. . යමක් පැහැදිලි නොවන බව පෙනේ නම්, භාෂණ පරිවර්තකයාගෙන් එය නැවත කියන ලෙස හෝ පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින්න. භාෂණ පරිවර්තකයාට යමක් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම් එය ප්‍රකාශ කිරීමට උනන්දු කරන්න. භාෂණ පරිවර්තකයාට පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වූ විට, ඔවුන් එය අනෙක් පුද්ගලයාට දැනුම් දෙන බවද තහවුරු කර ගන්න.
වළක්වා ගත යුතු දේ
- වාක්‍යයක් අතරතුර, භාෂණ පරිවර්තකයාට හෝ අනෙක් පුද්ගලයාට බාධා නොකරන්න. බාධා කිරීම නිසා ව්‍යාකූලත්වය හෝ සන්නිවේදන දෝෂ ඇති විය හැකිය.
- භාෂණ පරිවර්තකයාගෙන් අදහස් හෝ උපදෙස් ඉල්ලීම සිදු නොකරන්න. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ භාෂණ පරිවර්තනය කිරීමයි; මැදිහත් වීම, පාර්ශවයක් වෙනුවෙන් කතා කිරීම හෝ පෞද්ගලික අදහස් ලබා දීම එයට අයත් නොවේ.
- භාෂණ පරිවර්තකයා සමග පාර්ශ්වික සංවාද නොපවත්වන්න. භාෂණ පරිවර්තකයා ඔබ කියන සියල්ල පරිවර්තනය කරන බැවින්, අනෙක් භාෂාවට පරිවර්තනය වීමට ඔබ අකමැති කිසිවක් නොකියන්න.
සැසියෙන් පසු
- අවශ්‍ය නම් පසුව විමර්ශනයක් සිදු කරන්න. යම් ගැටලු ඇතිවූයේ නම් හෝ ප්‍ප්‍රතිපොෂණයක් අවශ්‍ය නම් භාෂණ පරිවර්තකයා සමග ඒ ගැන සාකච්ඡා කරන්න. වැඩිදියුණු කිරීම් සඳහා ඇති යෝජනා සඳහා විවෘතව සිටින්න. භාෂණ පරිවර්තකයන් බොහෝ වෘත්තිකයන් සමග කටයුතු කරන බැවින්, ඉදිරි සැසිවලදී සන්නිවේදනය වැඩිදියුණු කිරීමට ඔවුන්ට ප්‍රයෝජනවත් උපදෙස් ලබාදිය හැකිය.
- රහස්‍යභාවය පවත්වා ගන්න. භාෂණ පරිවර්තන සැසි සෘජු සන්නිවේදනයක් ලෙසම සැලකිය යුතුය. බෙදාහදා ගන්නා සියලු තොරතුරු රහස්‍යව පවතියි.
අතිරේක සම්පත්
භාෂණ පරිවර්තකයන් සමඟ කටයුතු කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, පිවිසෙන්න: