භාෂා පරිවර්තකයා සහ භාෂණ පරිවර්තකයා අතරින්: මට අවශ්‍ය වන්නේ කවුද?
ඔබට වෙනත් භාෂාවකින් සන්නිවේදනය කිරීම සඳහා සහාය අවශ්‍ය නම් භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු සමග කටයුතු කිරීම අවශ්‍ය විය හැකිය.
ඔවුන් දෙදෙනාම භාෂාව සම්බන්ධයෙන් කටයුතු කළද, ඔවුන් ඉටු කරන කාර්යයන් වෙනස් වේ.
මට අවශ්‍ය වන්නේ කවුදැයි තීරණය කරන්නේ කෙසේද?
එය ලිඛිත නම්, ඔබට භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය වේ. එය කථන හෝ සංඥා භාෂාව නම්, ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය වේ.
ඔබ ලේඛන බෙදාහදා ගැනීමක් සිදු කරනවා ද, නැත්නම් සංවාදයක් පවත්වාගෙන යනවාද යන්න ගැන සිතා බලන්න.
භාෂා පරිවර්තකයෙකු සිදු කරන්නේ කුමක්ද?
භාෂා පරිවර්තකයෙකු ලිඛිත වචන සමග කටයුතු කරයි. ඔවුන්ගේ කාර්යය වන්නේ එක් භාෂාවකින් ඇති ලිඛිත අන්තර්ගතය ගෙන, එය වෙනත් භාෂාවකට නිවැරදි සහ සංස්කෘතිකව සුදුසු අනුවාදයක් ලෙස සකස් කිරීමයි.
පරිවර්තකයන් කරන කටයුතුවලට සාමාන්‍ය උදාහරණ කිහිපයක් මෙන්න:
- උප්පැන්න සහතික, රියදුරු බලපත්‍ර සහ අනෙකුත් හැඳුනුම්පත් ලේඛන
- නීතිමය ගිවිසුම් සහ මූල්‍ය ප්‍රකාශන
- වෛද්‍ය වාර්තා
- වෙබ් අඩවි, පත්‍රිකා සහ අලෙවිකරණ ද්‍රව්‍ය
- ඊමේල්, ලිපි සහ ලිඛිත උපදෙස්
- උපදෙස් අත්පොත්
පරිවර්තනය යනු එක් භාෂාවකින් තවත් භාෂාවකට වචන සරලව හුවමාරු කිරීම පමණක් නොවේ. හොඳ භාෂා පරිවර්තකයෙකු අර්ථය පැහැදිලි සහ අනුකූල බවත්, පාරිභාෂික වචන නිවැරදි බවත්, ලේඛනයේ අරමුණට ස්වරය ශබ්ද ලීලාව සමඟ ගැලපෙන බවත් සහතික කරයි. ඔස්ට්‍රේලියාවේදී, බොහෝ ආයතන—විශේෂයෙන් රජයේ දෙපාර්තමේන්තු—පරිවර්තන NAATI-සහතික ලත් භාෂා පරිවර්තකයෙකු විසින් සිදු කර තිබිය යුතු බව අවශ්‍යතාවක් සේ සලකයි. මෙමගින් ගුණාත්මකභාවය සහ වගකීම තහවුරු වේ.
භාෂණ පරිවර්තකයෙකු සිදු කරන්නේ කුමක්ද?
භාෂණ පරිවර්තකයෙකු කථන හෝ සංඥා භාෂාව සමග කටයුතු කරයි. ඔවුන් විවිධ භාෂා කතා කරන පුද්ගලයන්ට තත්කාලිකව සන්නිවේදනය කිරීමට උදව් කරයි.
ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය විය හැක්කේ පහත අවස්ථාවලදීය:
- වෛද්‍ය හෝ සෞඛ්‍ය හමුවීම් වලට සහභාගී වීම
- Centrelink, පොලීසිය හෝ අනෙකුත් රජයේ සේවාවන් සමග කතා කිරීම
- ව්‍යාපාරික රැස්වීම්වලට සහභාගී වීම
- නීතිමය කටයුතුවලට සහභාගී වීම
- සම්මන්ත්‍රණ, සම්මේලන හෝ ප්‍රජා වැඩසටහන්වලට එක්වීම
භාෂණ පරිවර්තකයන් එක් භාෂාවකින් පවසන දෙය සවනය කර එය වෙනත් භාෂාවකට නිවැරදිව සහ ස්වාභාවිකව පැහැදිලි කරයි. ඔවුන්ට සෘජුව මුහුණට මුහුණ මෙන් ම, දුරකථනයෙන් හෝ වීඩියෝ මගින් වැඩ කළ හැකිය. බොහෝ අවස්ථාවල, විශේෂයෙන් සෞඛ්‍ය සහ නීතිමය පරිසරයන්හි, නිවැරදි භාෂණ පරිවර්තනය අතිශය වැදගත් වේ. පුද්ගලයන්ට සිය අයිතිවාසිකම්, වගකීම් සහ තේරීම් හොඳින් අවබෝධ කර ගැනීමට එය උපකාරී වේ.
මම ලිඛිත සහ කථන පාඨ අතර කටයුතු කරන්නේ නම් කුමක් කළ යුතුද?
සමහර අවස්ථාවලදී, භාෂණ පරිවර්තකයන්ට හෝ භාෂා පරිවර්තකයන්ට ලිඛිත සහ කථන/සංඥා භාෂා දෙක අතර කටයුතු කළ හැකිය. උදාහරණයක් ලෙස:
- දෘශ්‍ය පරිවර්තනය: භාෂණ පරිවර්තකයෙකු ලිඛිත ලේඛනයක් (උදා: රෝහලක අනුමැති පත්‍රයක්) කියවා එය තත්කාලිකව වෙනත් භාෂාවකට කථන හෝ සංඥා ලෙස පරිවර්තනය කරයි
- පිටපත් කිරීම: භාෂා පරිවර්තකයෙකු පටිගත කළ කථාවක් සවනය කර එය වෙනත් භාෂාවකින් ලිවීම සිදු කරයි
මේ ගැන සිතා බැලීමට පහසු ක්‍රමය වන්නේ, අවසාන ප්‍රතිඵලය කුමක්ද? යන්නය. එය ලේඛනයක් නම්, ඔබට භාෂා පරිවර්තකයෙකු අවශ්‍ය වේ. එය කථනයක්, සංවාදයක් හෝ වීඩියෝවක් නම්, ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය වේ.
සුදුසුකම් ලත් වෘත්තිකයන් සොයාගත හැක්කේ කොතැනින්ද?
භාෂණ පරිවර්තකයෙකු හෝ භාෂා පරිවර්තකයෙකු කවරෙක් වුවත්, NAATI-සහතික ලත් අයෙකු තෝරා ගැනීම හොඳම ක්‍රමය වේ. NAATI විසින් භාෂණ පරිවර්තකයන් සහ භාෂා පරිවර්තකයන් යන දෙපිරිසම සඳහා විවිධ සුදුසුකම් ලබා දෙන අතර, මෙමගින් නිවැරදිව සහ වෘත්තීයමය ලෙස තොරතුරු පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කුසලතා සහ පුහුණුව ඇති බව තහවුරු කරයි.
ඔබට භාෂා පරිවර්තකයෙකු හෝ භාෂණ පරිවර්තකයෙකු NAATI හි මාර්ගගත නාමාවලියෙන් සොයාගත හැකිය.