කාර්යය සඳහා නිවැරදි වෘත්තිකයා තෝරාගැනීම: NAATI සහතික පිළිබඳ දළ සාරාංශයක්
මෙම පිටුවෙහි
ඔබට ලේඛන පරිවර්තනය කිරීමට හෝ වෙනත් භාෂාවක් කතා කරන පුද්ගලයෙකු සමග සන්නිවේදනය කිරීමට අවශ්‍ය වූ විට, උපකාර කිරීම සඳහා නිවැරදි වෘත්තිකයෙකු සොයාගැනීම වැදගත් වේ. භාෂා පරිවර්තකයෝ ලිඛිත පාඨයන් සම්බන්ධයෙන් කටයුතු කරන අතර, භාෂණ පරිවර්තකයෝ කතා කරන හෝ සංඥා භාෂා සන්නිවේදනය සම්බන්ධයෙන් කටයුතු කරති.
NAATI හි සහතික පද්ධතියට භාෂා පරිවර්තක සහතික තුනක් සහ භාෂණ පරිවර්තක සහතික හයක් ඇතුළත් වේ. මෙම මාර්ගෝපදේශය මගින් එක් එක් සහතිකය කුමක් සඳහාද යන්න ඔබට අවබෝධ කරගැනීමට උපකාර කරයි.
NAAT විසින් සෑම භාෂාවකටම හෝ සෑම මට්ටමකටම පරීක්ෂණ ලබා දීම සිදු නොකරයි. ඔබගේ භාෂාව සඳහා පරීක්ෂණ නොමැති නම්, භාෂණ පරිවර්තකයන් සහ පරිවර්තකයන්ට අවශ්‍ය පුහුණුව සහ භාෂා කුසලතා ඇති බව පෙන්වන පිළිගත් වෘත්තීය පරිචය සහිත බවට සහතිකයක් ලබාගැනීමට හැකිය.
එකම සහතික ඇති භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන්ට පවා විවිධ විශේෂඥ ක්ෂේත්‍ර තිබිය හැකි බව මතක තබා ගන්න. NAATI මාර්ගගත නාමාවලිය භාවිතා කර සහතික ලත් වෘත්තිකයන් සොයා ගෙන, ඔවුන්ගේ නිශ්චිත අත්දැකීම් සහ සුදුසුකම් පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගන්න.
NAATI සහතික පද්ධතිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා NAATI වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
පූර්ව අවශ්‍යතා
NAATI මගින් සහතික ලැබීමට, සියලු භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් විසින් පූර්ව අවශ්‍යතා කිහිපයක් සපුරාලිය යුතුය. එක් එක් සහතිකයට තමන්ටම අනන්‍ය පූර්ව අවශ්‍යතා (උදාහරණයක් ලෙස විවිධ පුහුණු මට්ටම්) තිබුණද, ඒ සියල්ලටම පහත දැක්වෙන දේ ඇතුළත් වේ:
- විධිමත් පුහුණුව භාෂා පරිවර්තනය හෝ භාෂණ පරිවර්තනය පිළිබඳව
- ඉංග්‍රීසි හෝ ඔස්ලැන් භාෂා ප්‍රවීණතාවය
- ආචාරධාර්මික නිපුණතාව: සියලුම සහතික ලත් භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් අනුගමනය කළ යුතු අදාළ ආචාරධර්ම සංග්‍රහය පිළිබඳ දැනුම සහ අවබෝධය
- අන්තර් සංකෘතික නිපුණතාව: ඔස්ට්‍රේලියානු සන්දර්භය තුළ විවිධ සංස්කෘති අතර කටයුතු කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතා.
භාෂා පරිවර්තක සහතික
විවිධ කුසලතා මට්ටම් සහ අත්දැකීම් පෙන්වන පරිවර්තක සහතික තුනක් ඇත.
පරිවර්තක සහතිකයක් ඇති වෘත්තිකයන්ට සංකීර්ණ සහ සංකීර්ණ නොවන ලේඛන එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කළ හැකිය. ඔවුන්ට පවතින පරිවර්තනයක් නිවැරදිද යන්න තහවුරු කර ගැනීම සඳහා එය සමාලෝචනය කිරීම සහ සංස්කරණය කිරීමද කළ හැකිය. පරිවර්තකයන්ට එක් භාෂා දිශාවකින් පමණක් හෝ දිශා දෙකෙන් ම කටයුතු කළ හැකිය; උදාහරණයක් ලෙස, පෝලන්ත භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට සහ/හෝ ඉංග්‍රීසි භාෂාවෙන් පෝලන්ත භාෂාවට.
පිළිගත් වෘත්තීය පරිචය සහිත පරිවර්තකයන්ගේ කුසලතා NAATI මගින් පරීක්ෂා කර නොමැත. නමුත්, ඔවුන් අවම පුහුණු අවශ්‍යතා සහ පූර්ව අවශ්‍යතා සපුරා ඇති අතර, නවතම හා නිතර සිදුවන පරිවර්තන අත්දැකීම්ද ඇති අය වේ. සාමාන්‍යයෙන් ඔවුන් NAATI පරීක්ෂණ ලබාගත නොහැකි භාෂා සම්බන්ධයෙන් කටයුතු කරයි.
යම් භාෂාවක් සඳහා සහතික ලත් පරිවර්තකයන් නොමැති නම්, පිළිගත් වෘත්තීය පරිචය සහිත පරිවර්තකයන්ට සහතික ලත් වෘත්තිකයෙකු කරන කාර්යය සමාන කාර්යයක් සිදු කිරීමට ඉල්ලා සිටිය හැකිය.
සහතික ලත් පරිවර්තකයන් අවම පුහුණු අවශ්‍යතා සහ පූර්ව අවශ්‍යතා සපුරා ඇති අතර, NAATI මගින් ඔවුන්ගේ කුසලතා පරීක්ෂා කර ඇත. මෙය සහතික පද්ධතිය යටතේ ලබාගත හැකි ඉහළම පරිවර්තක සහතිකය වේ.
NAATI මගින් ඇගයෙන කාර්යයන්- සංකීර්ණ නමුත් විශේෂිත නොවන පාඨයන් පරිවර්තනය කිරීම
- සංකීර්ණ නමුත් විශේෂිත නොවන පරිවර්තනයක් සමාලෝචනය කිරීම සහ සංස්කරණය කිරීම
සහතික ලත් උසස් පරිවර්තකයන් 2018ට පෙර ක්‍රියාත්මක වූ NAATI පෙර සහතික පද්ධතිය යටතේ ඉහළ මට්ටමේ සහතිකයක් ලබාගත් අය වේ. මේ සඳහා තවදුරටත් පරීක්ෂණ ලබාදෙන්නේ නැතිවුවත් සමහර පරිවර්තකයෝ තවමත් මෙම සහතිකය පවත්වාගෙන යති.
භාෂණ පරිවර්තක සහතික
ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ භාෂණ පරිවර්තක සහතික හයක් ඇත: ප්‍රජා භාෂණ පරිවර්තනය සහ සම්මන්ත්රණ භාෂණ පරිවර්තනය.
පිළිගත් වෘත්තීය පරිචය සහිත භාෂණ පරිවර්තකයන්ගේ කුසලතා NAATI මගින් ඔවුන්ගේපරීක්ෂා කර නොමැත. නමුත්, ඔවුන් අවම පුහුණු අවශ්‍යතා සහ පූර්ව අවශ්‍යතා සපුරා ඇති අතර, නවතම හා නිතර සිදුවන භාෂණ පරිවර්තන අත්දැකීම්ද ඇති අය වේ. සාමාන්‍යයෙන් ඔවුන් NAATI පරීක්ෂණ ලබාගත නොහැකි භාෂා සම්බන්ධයෙන් කටයුතු කරයි.
යම් භාෂාවක් සඳහා සහතික ලත් භාෂණ පරිවර්තකයන් නොමැති නම්, පිළිගත් වෘත්තීය පරිචය සහිත භාෂණ පරිවර්තකයන්ට සහතික ලත් වෘත්තිකයෙකු කරන කාර්යය හා. සමාන කාර්යයක් සිදු කිරීමට ඉල්ලා සිටිය හැකිය.
සහතික ලත් තාවකාලික භාෂණ පරිවර්තකයන් සාමාන්‍ය, සංකීර්ණ නොවන සංවාද (සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතර) සඳහා ඔවුන්ගේ භාෂණ පරිවර්තන කුසලතා පරීක්ෂා කර ඇත. ‘තාවකාලික’ යන වචනය භාවිතා කරන්නේ NAATI මගින් සහතික ලත් භාෂණ පරිවර්තක මට්ටමේදී පරීක්ෂා කරන පුළුල් භාෂණ පරිවර්තන කුසලතා තවමත් ඇගයීමට ලක් කර නොමැති බැවිනි.
NAATI මගින් ඇගයෙන කාර්යයන්- ඉංග්‍රීසි භාෂාව කතා කරන පුද්ගලයෙකු සහ වෙනත් භාෂාවක් කතා කරන පුද්ගලයෙකු අතර මුහුණට මුහුණ (හෝ වීඩියෝ) සහ දුරස්ථ (දුරකථන) සංවාද භාෂණ පරිවර්තනය කිරීම, සජීවී භූමිකා රංගනකරුවන් මගින් පහසු කරනු ලැබේ.
සහතික ලත් භාෂණ පරිවර්තකයන්ට බොහෝ අවස්ථාවලදී සංකීර්ණ භාෂණ පරිවර්තන කටයුතු සිදු කළ හැකිය. ඔවුන් NAATI මගින් පවත්වන සහතික ලත් තාවකාලික භාෂණ පරිවර්තක පරීක්ෂණය සහ සහතික ලත් භාෂණ පරිවර්තක පරීක්ෂණය යන දෙකම සමත් වී ඇත.
NAATI මගින් ඇගයෙන කාර්යයන්- පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන සංවාද භාෂණ පරිවර්තනය කිරීම
- එක් භාෂාවක (ලිඛිත) ලේඛන තවත් භාෂාවකට (වාචිකව) පරිවර්තනය කිරීම
- එක් පුද්ගලයෙකුගේ දිගු කථනයක් භාෂණ පරිවර්තනය කිරීම (අනුක්‍රමික සහ සමකාලීන භාෂණ පරිවර්තනය).
සහතික ලත් විශේෂඥ සෞඛ්‍ය භාෂණ පරිවර්තකයන් යනු සෞඛ්‍ය ක්ෂේත්රයේ භාෂණ පරිවර්තනය කිරීමේදී විශේෂ දක්ෂතා සහ අත්දැකීම් ඇති භාෂණ පරිවර්තකයන් වේ. ඔවුන් සාමාන්‍ය වෛද්‍ය දැනුම සහ සෞඛ්‍ය සේවාවන්හි භාෂණ පරිවර්තකයාගේ කාර්යභාරය පිළිබඳව, කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව සම්බන්ධ ප්‍රශ්නයක්ද ඇතුළත් වන වෛද්‍ය දැනුම් පරීක්ෂණයක් සමත් වී ඇත.. ඔවුන්ට විශේෂඥයින් දෙදෙනෙකු අතර සන්නිවේදනය (උදාහරණයක් ලෙස රෝගියෙකු ගැන වෛද්‍යවරයෙකු තවත් සෞඛ්‍ය වෘත්තිකයෙකු සමග කතා කරන අවස්ථා) භාෂණ පරිවර්තනය කිරීමේ හැකියාව ඇති අතර ඔවුන් මානසික සෞඛ්‍ය ක්ෂේත්රයේ භාෂණ පරිවර්තනය කිරීමේ හැකියාව ඇගයීමට ලක් කරන භාෂණ පරිවර්තන පරීක්ෂණයකින්ද සමත් වී ඇත. ඔවුන් මෙම මට්ටමට උසස් වීමට පෙර සහතික ලත් භාෂණ පරිවර්තකයන් ලෙස කටයුතු කර ඇති අතර විශේෂඥ පුහුණුවද ලබාගෙන ඇත.
NAATI මගින් ඇගයෙන කාර්යයන්- සෞඛ්‍ය දැනුම පරීක්ෂණය
- එක් පුද්ගලයකුගේ දිගු කථනයක් අනුක්‍රමික භාෂණ පරිවර්තනය කිරීම
- මානසික සෞඛ්‍ය සන්දර්භයක් තුළ එක් පුද්ගලයකුගේ දිගු කථනයක් සමකාලීන භාෂණ පරිවර්තනය.
- එක් භාෂාවකින් සිදුවන හුවමාරුවක් (සංකීර්ණ පරිසරයකදී ඉංග්‍රීසි භාෂාව කතා කරන පුද්ගලයන් කිහිප දෙනෙකු අතර සිදුවන සජීව සංවාදය සමගාමීව භාෂණ පරිවර්තනය කිරීම)
සහතික ලත් විශේෂඥ නීති භාෂණ පරිවර්තකයන් යනු නීතිමය සන්දර්භයන්හි භාෂණ පරිවර්තනය කිරීමේදී විශේෂ දක්ෂතා සහ අත්දැකීම් ඇති වෘත්තිකයන් වේ. ඔවුන් සාමාන්‍ය නීති දැනුම සහ නීතිමය සන්දර්භයන්හි භාෂණ පරිවර්තකයාගේ කාර්යභාරය පිළිබඳව නීති දැනුම් පරීක්ෂණයක් සමත් වී ඇත. ඔවුන් විශේෂඥයින් අතර සන්නිවේදනය ( උදාහරණයක් ලෙස විනිසුරුවරයෙකු සහ නීතිඥයන් අතර හුවමාරු වන අදහස්) සහ අධිකරණයේ හරස් ප්‍රශ්න භාෂණ පරිවර්තනය කිරීමේ හැකියාව සහ මානසික සෞඛ්‍ය ක්ෂේත්රයේ භාෂණ පරිවර්තනය කිරීමේ හැකියාව ඇගයීමට ලක් කරන භාෂණ පරිවර්තන පරීක්ෂණයකින්ද සමත් වී ඇත. ඔවුන් මෙම මට්ටමට උසස් වීමට පෙර සහතික ලත් භාෂණ පරිවර්තකයන් ලෙස කටයුතු කර ඇති අතර විශේෂඥ පුහුණුවද ලබාගෙන ඇත.
NAATI මගින් ඇගයෙන කාර්යයන්- නීති දැනුම පරීක්ෂණය
- සංවාදමය කොටස් කාර්යය (අනුකරණය කරන ලද හරස්ප්රශ්න සිදුවන අවස්ථාවක අනුක්‍රමික භාෂණ පරිවර්තනය)
- ඒකපුද්ගල කථන අනුක්‍රමික භාෂණ පරිවර්තනය
- එක් භාෂාවකින් සිදුවන හුවමාරුවක් (සංකීර්ණ පරිසරයකදී ඉංග්‍රීසි භාෂාව කතා කරන පුද්ගලයන් කිහිප දෙනෙකු අතර සිදුවන සජීව සංවාදය සමගාමීව භාෂණ පරිවර්තනය කිරීම)
සහතික ලත් සම්මන්ත්රණ භාෂණ පරිවර්තකයන්ට අති සංකීර්ණ සහ විශේෂිත පණිවුඩ උසස් මට්ටමේ ජාත්‍යන්තර සහ දේශීය සම්මන්ත්රණ සන්දර්භයන්හි භාෂණ පරිවර්තනය කළ හැකිය. උදාහරණ ලෙස ගිවිසුම් සාකච්ඡා සහ ශාස්ත්‍රීය සම්මන්ත්රණ ඇතුළත් වේ. මෙම භාෂණ පරිවර්තකයන් සාමාන්‍යයෙන් සම්මන්ත්රණ භාෂණ පරිවර්තනය පිළිබඳ විශේෂිත පුහුණුවක් සහ පුළුල් අත්දැකීම් ලබාගෙන ඇත. ඔවුන්ගේ සහතිකය එක් භාෂා දිශාවක් සඳහා පමණක් (උදාහරණ ලෙස ජපන් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට හෝ ඉංග්‍රීසි භාෂාවෙන් Auslan වෙත) වලංගු වන, නමුත් සමහර භාෂණ පරිවර්තකයන් භාෂා සංයෝජන කිහිපයක්ද දරති.
NAATI මගින් ඇගයෙන කාර්යයන්- අදෘශ්‍ය ඒකපුද්ගල කථනයක් අනුක්රමිකව භාෂණ පරිවර්තනය කිරීම
- කුටියක් තුළ සිට දෘශ්‍ය සහ අදෘශ්‍ය කථනයක් භාෂණ පරිවර්තනය කිරීම (සමකාලීන භාෂණ පරිවර්තනය)